Sunday, September 18, 2011

දුම්රිය අනතුරට හේතුව පාලක මැදිරියේ හා සංඥවල දෝෂයක්‌!


දුම්රිය අනතුරට හේතුව පාලක
මැදිරියේ හා සංඥවල දෝෂයක්‌!


අනතුරින් තිදෙනෙක්‌ මරු දකිති
15ක්‌ තවම රෝහලේ
අලාභය මිලියන 75 ක්‌

සමන් ගමගේ, අකිත පෙරේරා,
වරකාපොල විශේෂ - සරත් ආනන්ද සහ කුරුණෑගල - විජේරත්න බණ්‌ඩාර


අලව්ව දුම්රිය ස්‌ථානයේදී පෙරේදා (17 වැනිදා) පස්‌වරුවේ දුම්රිය දෙකක්‌ එකිනෙක ගැටී සිදු වූ මාරක අනතුරට හේතුව දුම්රිය පාලක මැදිරියේ හා සංඥා පද්ධතියේ ඇති වූ ප්‍රමාද දෝෂයක්‌ බවට සැක මතු වී තිබේ.

කොළඹ සිට පෙරේදා (17 දා) සවස මහනුවර බලා ධාවනය වූ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අලව්ව දුම්රිය ස්‌ථානයේ නවතා තිබියදී එය පසුපසින් පැමිණි පොල්ගහවෙල බලා ගමන් කරමින් තිබූ මන්දගාමී දුම්රියක්‌ නගරාන්තර දුම්රියේ නැරඹුම් මැදිරියේ ගැටී එය සුනුවිසුණු කෙරෙමින් ධාවනය වීම නිසා මෙම මාරක අනතුර සිදුව තිබිණි. අනතුරින් මෙරට සංචාරයක්‌ සඳහා පැමිණ සිටි ප්‍රංශ ජාතිකයකු සහ පොල්ගහවෙල බලා ධාවනය වූ මන්දගාමී දුම්රියේ රියෑදුරා සමඟ රියෑදුරු සහායක මියගොස්‌ ඇති අතර තුවාල ලැබූ තවත් පුද්ගලයෝ 15 දෙනෙක්‌ කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

ප්‍රතිකාර ලබන පිරිස අතර කාන්තාවෝ හත්දෙනෙක්‌ හා තායි ජාතික භික්‍ෂූන් වහන්සේ නමක්‌ ද වෙති. ඔවුන්ගේ තත්ත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම අනතුරින් තුවාල ලැබූවන් රැසක්‌ නගරාන්තර දුම්රියේ නැරඹුම් මැදිරිය තුළ සිරවී සිටීම නිසා ඔවුන් බේරා ගැනීමට පොලිසිය හා ප්‍රදේශවාසීහු එක්‌ව යකඩ කපන උපකරණ රැගෙනවිත් මහත් පරිශ්‍රමයක්‌ දැරූහ.

එහිදී මරණයට පත් වූ පොල්ගහවෙල දුම්රියේ රියෑදුරු හා සහායකගේ මළ සිරුරු දුම්රිය මැදිරියෙන් පිටතට ගැනීම සඳහා පැය පහක පමණ කාලයක්‌ ගතවී තිබිණි.

කොළඹ සිට පෙරේදා (17 දා) පස්‌වරුවේ මුලින්ම මන්දගාමී දුම්රිය පොල්ගහවෙල බලා ගමන් අරඹා ඇති අතර ඉන් පැයකට පමණ පසු ගමන් ආරම්භ කළ නගරාන්තර දුම්රිය මීරිගම ප්‍රදේශයේදී පොල්ගහවෙල දුම්රිය පසුකරමින් ඉදිරියට ධාවනය වී ඇත.

මෙලෙස ධාවනය වෙමින් තිබියදී කොළඹ සිට රඹුක්‌කන බලා ධාවනය වෙමින් තිබූ තවත් මන්දගාමී දුම්රියක්‌ අලව්ව දුම්රිය ස්‌ථානයට ආසන්නයේ කාර්මික දෝෂයකට ලක්‌ව තිබීම නිසා නගරාන්තර දුම්රිය අලව්ව දුම්රිය ස්‌ථානයේ නතර කිරීමට එහි රියෑදුරා පියවර ගෙන ඇත.

පසුව කාර්මික දෝෂයට ලක්‌ව තිබූ රඹුක්‌කන බලා යන දුම්රිය නගරාන්තර දුම්රිය මගින් තල්ලු කරවීමට දුම්රිය බලධාරීන් කටයුතු කර ඇති අතර එසේ කරමින් සිටියදී පසුපසින් වේගයෙන් පැමිණි පොල්ගහවෙල මන්දගාමී දුම්රිය නගරාන්තර දුම්රියේ නැරඹුම් මැදිරියේ ගැටී තිබේ.

මෙම අනතුරින් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වූ අලාභය රුපියල් මිලියන 75 ක්‌ පමණ වන බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

අනතුරට හේතුව සොයා බැලීම සඳහා ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාගේ උපදෙස්‌ මත දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්‌ නිලධාරීන් තිදෙනකු සමඟ අඹේපුස්‌ස යුද හමුදා කඳවුරේ උසස්‌ නිලධාරියකුගෙන් ද සමන්විත සිව් පුද්ගල කමිටුවක්‌ පත්කිරීමට ද පියවර ගෙන ඇත.

අනතුර නිසා පෙරේදා (17 දා) පස්‌වරු 5.00 පමණ සිට අඩාල වී තිබූ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ඊයේ (18 දා) දහවල් වන විට යථා තත්ත්වයට පත් කිරීමට දුම්රිය බලධාරීන් පියවර ගෙන තිබිණි.

දැනට කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පිsරිස මෙසේය.

දිසානායක මුදියන්සේලාගේ කවින්ද්‍යා දිසානායක, සුමංගල මාවත, අස්‌ගිරිය, මහනුවර. අනුෂා දිසානායක, සුමංගල මාවත, අස්‌ගිරිය, මහනුවර. එච්. එල්. ශානිකා දිසානායක, සුමංගල මාවත, අස්‌ගිරිය, මහනුවර. ප්‍රියන්තා තුෂාරි දිසානායක, සුමංගල මාවත, අස්‌ගිරිය, මහනුවර. ජයා කුලසූරිය, වෑබඩ පාර, කිරිල්ලවල. අශෝකා ෙµdන්සේකා, පානදුර. ආර්. එම්. නිරෝෂා ප්‍රියදර්ශනී, හුලංගම හන්දිය, මොනරාගල. පී. බී. කුලසූරිය, වෑබඩ පාර, කිරිල්ලවල. ආනන්ද දිසානායක, කිරිබත්කුඹුර, පේරාදෙණිය. ටී. එම්. නිහාල් රංජිත් ප්‍රනාන්දු, නල්ලුරුව, පානදුර. ජී. ඒ. නිශාන්ත පුෂ්පකුමාර, ටේ්‍රලර්කිවේ මහගම ජනපදය, සෙවනගල, ඇඹිලිපිටිය. එස්‌. බී. සුදේශි ශාරංගා, ගල්පිහිල්ල, අම්පිටිය, මහනුවර. පී. රංජිත් සමී, පේරාදෙණිය පාර, මහනුවර. අශාන් සනන්ද හිමි, අශාන් කසිරාන හිමි, පල්ලේකැලේ බෞද්ධ ඇකඩමිය, මහනුවර.

දුම්රිය අනතුරින් මියගිය දුම්රිය රියෑදුරා සහාය රියෑදුරු සහ විදේශිකයාගේ නම් පිළිවෙළින් මෙසේය.

ලාල් අජිත් මලආරච්චි (51) (රියෑදුරු) දෙදරු පියෙකි. දොන් නිහාල් (49) (සහාය රියෑදුරු) දෙදරු පියෙකි.

(ASTEUBLE DEMI CLAUD, SRUF, DE LA LOURONNE (51) ප්‍රංශ ජාතිකයෙකි.

අලව්ව පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ඒ. බී. මහින්ද පුෂ්පකුමාර මහතා ඇතුළු පොලිස්‌ නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.

No comments:

Post a Comment